ඇත්තටම මට පෙම්වතෙක් නෑ - සෙනාලි ෆොන්සේකා


සෙනාලි ෆොන්සේකා කියන්නේ ෆොන්සේකා පරම්පරාවේ දෙවැනි පරපුරට අයත් රංගන ශිල්පිනියක්. ප්‍රවීණ රංගන ශිල්පිනිය මාලිනී ෆොන්සේකා නිසා ඇය ප්‍රසිද්ධ සමාජය හඳුනා ගන්නේ නැහැ. ඇය ජනප්‍රිය වූයේ සිරිපැරකුම් චිත්‍රපටයට රන්එතනා වුණු නිසයි. පසුගියදා නිමාව දුටු හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේ දී ජනප්‍රියම නිළියන් පස් දෙනා අතරට ඇගේ නමත්
නිර්දේශ වුණා. මේ දිනවල විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය ලබන සෙනාලිව එනිසාම රිවිසරසි කතාබහට එකතු කරගත්තා. මේ සෙනාලිගේ විස්තරයි.

සෙනාලි නැවතත් විදෙස්ගත වුණේ ආයේ නොඑන්නමද?
මම මේ දිනවල ඉන්නේ විදෙස්ගතව. කේම්බ්‍රිජ්වල වැඩිදුර අධ්‍යාපන කටයුතුවල නිරත වෙනවා. ඉස්සර වගේ නමෛයි. දැන් රංගන කටයුතුවලට සම්බන්ධ වෙන්න තියෙන කැමැත්ත නිසාම නිතර නිතර ලංකාවට එනවා. මෙහේ පදිංචි වෙන්න අදහසක් නැහැ. ඊළඟ නිවාඩු වාරය ආ ගමන් මම ලංකාවට එනවා. බොහෝ දුරට තව මාස කීපයකින් යළිත් එන්න පුළුවන් වෙයි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන හුඟ දෙනෙක් විදෙස්ගත වෙලා ජීවත් වෙන්න කැමැතියි. සෙනාලි විදෙස්ගත වුණෙත් විදේශීය රටක ජීවත් වෙන්න තියෙන වුවමනාවටද?
මම පුංචි කාලෙම විදෙස්ගත වුණේ අම්මයි, තාත්තයි විදෙස්ගත වුණ නිසයි. මම මූලික අධ්‍යාපනය කොළඹ විශාකා විද්‍යාලයෙන් හැදෑරුවත් පසුව එංගලන්තයේ පාසලකින් ඉගෙන ගත්තා. ඒ වුණත් එංගලන්තේ ජීවත් වෙන්න වුවමනාවක් නැහැ. ලංකාව කියන්නේ ලස්සන රටක්. මම මගේ රටට ආදරෙයි. මගේ කලා කටයුතුවලටත්, ශක්තියක් වුණේ ලංකාව. ඒ නිසා කොහොමත් මට පිටරට ජීවත් වීමේ උණක් නැහැ.

හිරු ගෝල්ඩන් ෆිල්ම් සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නිළියට නිර්දේශ වුණාට, සම්මානය ලැබුණේ ඔබට නමෛයි, ඉතින් දුකයිද?
සම්මානයකට නිර්දේශ වුණා, ඕනෑම කෙනෙක් සම්මානය ලැබෙයි කියලා බලා‍පොරොත්තුවෙන් ඉන්නවා.  ඒ බලා‍පොරොත්තුව මටත් තිබුණා. නමුත් ඒ සම්මානය මටම ලැබෙයි කියලා හිතුවේ නැහැ. මොකද මට වඩා රංගනයේ දී ප්‍රවීණයන් අනෙක් රංගන ශිල්පිනියන් හතර දෙනා.

සම්මානයට නිර්දේශ වීම ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නේ?
සිරිපැරකුම් චිත්‍රපටය සම්බන්ධ වෙලා වර්ෂ දෙකහමාරක වගේ කාලයක් ඇති. ඊට කලින් සෙනාලි ෆොන්සේකා කියන්නේ කවුද කියලා කවුරුත්ම දන්නේ නැහැ. මිනිස්සු රන් එතනාට ආදරය කළා. රන්එතනා කියන්නේ මගේ රංගන ජීවිතයේ ආරම්භය. ඒ ආරම්භයට ජනතාව ප්‍රසාදය ලබා දුන්නා කියලා හිතනවා. සම්මානයට නිර්දේශ වීමම මම ලැබුව ජයග්‍රහණයක්. පළමු නිර්මාණයෙන්ම ජනප්‍රිය වීමයි, සම්මානයකට නිර්දේශ වීමයි කියන්නේ රංගන ශිල්පිනියක් හැටියට සාර්ථක වීමක්. අපි රඟපාන දේ මිනිසුන්ට දැනෙන්න ඕනෑ. රන් එතනාව මිනිසුන්ට දැනුණා. ඒ නිසා ඒ අය මට ඔවුන්ගේ කැමැත්ත සම්මානයකට නිර්දේශ වීම දක්වා රැගෙන ගියා. හරිම සතුටුයි. ඒ සතුට මම හරිම නිහතමානීව විඳිනවා.

සෙනාලි නිර්මාණ තෝරාගෙන ද රඟපාන්නේ?
ඔව්. චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ චරිත මගේ හදවතට දැනුණේ නැහැ. සෙනාලි ෆොන්සේකාට රඟපාන්න පුළුවන් නිර්මාණයක් නොවුන නිසා ප්‍රතික්‍ෂේප කළා. හොඳ නිර්මාණ ලැබුණොත් මට මගේ රංගන පරාසය පෙන්වන්න පුළුවන් නිර්මාණයක් වුණොත් විතරයි, මම භාර ගන්නේ.

ළඟදී සම්බන්ධ වුණ නිර්මාණ මොනවාද?
මේ දවස්වල මායා පටල ටෙලි නාට්‍යයෙන් මාව දකින්න පුළුවන්. ඊට අමතරව කළු සෙවණැල්ල ටෙලි නාට්‍යයේ එමලිගේ චරිතයට මගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඒ චරිත දෙකම එකිනෙකට වෙනස්. මම ලංකාවේ නැතත් ඒ නිර්මාණවලින් මාව මගේ රසිකයන්ට දැකගන්නට පුළුවන්.

සෙනාලිට ලැබෙන ප්‍රතිචාරවලින් වැඩිපුරම ආකර්ෂණය ලැබෙන්නේ තරුණයන්ගෙන්ද ඇහුවොත්?
එහෙම විශේෂත්වයක් නැහැ. හැමෝම මට ආදරෙයි. පිරිමි ළමයි වගේම ගැහැනු ළමයි. ඒ ප්‍රතිචාරවලට වයස් භේදයකුත් නැහැ.

තරුණයන්ගෙන් ආදරයට ඇරයුම් නොලැබුණා කිව්වොත් ඒක බොරුවක් නේද සෙනාලි...?
රන් එතනාට ආදරය කරපු වගේම සෙනාලි කියන චරිතයට ආදරය කරන පිරිමි ළමයි ඇත්තටම ආදරය ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ඇරයුම් සුහදව මම ප්‍රතික්‍ෂේප කරනවා. දැන්ම මට ප්‍රේම යෝජනා ගෙනැවිත් ඵලක් නැහැ.

ලස්සන රුවැත්තියකට පෙම්වතෙක් නැහැ කියන්න බැහැ නේද?
ඒත් මට පෙම්වතෙක් නැහැ. මම මගේ ජීවිතේ මුල්තැන දෙන්නේ මේ දවස්වල අධ්‍යාපනයට පෙම්වතියක් වෙන්න තව කල් තියෙනවා.
හර්ෂණී වීරරත්න
ඡායාරූප - අමිත් එස්. සේනාරත්න
Share on Google Plus
    Blogger Comment
    Facebook Comment